මිනිසුන් අඳුරෙන් අඳුරට රුගෙන යන්නා වූ රටක මිනිසුන්ගේ විලාපය බීරි අලින්ට වීණා වැයීමක් වූ කල ඇතිවන ශෝචනීයත්වයේ උපරිම ස්ථානයේ සිට ලියමි. තවත් වචන පෙළක් පත්තර පිටුවකින් කෑම ඔතන කොළයක හෝ කඩදාසි ගොට්ටකින් අවසන් වන නමුදු මිනිසුන්ගේ අඳෝනා උඩින් පැන ගොස් ආපසු හැරී බැලීමට හෘද සාක්ෂියක් ඇත්තවුන්ට නොකළ හැකි කාර්යයකි. දැන් ආසියාවේ ආශ්චර්යමත් සිහිනයට සමුදී සිංගප්පූරැ සිහිනය හා යහන් ගත වීමට සමස්තයක් වූ දුක් විඳින මහජනයාට රජය ආරාධනය කර සිටී. එකී සිහිනය තුළ තවත් වසර පහක් සැතපීමේ ප්‍රීතිය අරමුණු කරගනිමින් යටහත් පහත් සුවච කීකරැ වැසියන් වන අපි ඔබගේ දෑත් ශක්තිමත් කරන්නෙමු. ඊට පෙර මතක් කළ යුතු යමක් ඇති බව කිව යුතුමය. නූතන ඩිජිටල් ලෝකයේ ලංකාවේ ජනගහනයටත් වඩා වැඩියෙන් ජංගම දුරකථනයන් පවතින අවස්ථාවක පවසන සිංගප්පූරැ සිහිනය සාපේක්ෂව පාරාදීසයක් වුවද අපට සාපේක්ෂව එය හුදෙක් සිහින දකින්නකුගේ හිතළුවක් පමණකි.
ශ්‍රී ලංකාව හා සිංගප්පූරැව අතර පවතින්නේ ගහට පොත්ත සේ සමීප වුණු සහ අහසට පොළොව සේ දුරස්ථ වූ සබඳතාවයකි. අපෙන් පාඩම් උගත් සිංගප්පූරැව ආසියාවේ මකරකු වූ අතර අප පාඩම් කියාදුන් සිංගප්පූරැව ඉදිරියේ අනාථයෙක් වීමට පසුකාලීනව අපට සිදුවිය. එය දෛවයේ සරදමක් ලෙස ඇතැමෙක් අර්ථ දැක්වීමට උත්සහ කළද සත්‍ය වශයෙන්ම එහි ඇත්තේ දෛවයේ සරදමක් නොව දිගින් දිගටම ගනු ලැබූ අවස්ථාවාදී දේශපාලන පන්දු කෙළියේ පසු කාලීනව ඇති වූ දරැණු විපාකයකි. ඒ විපාකය තුළින් ඇති වූ තුවාලය වචන වලින් පිරියම් කළ හැකි වුවද නිට්ටාවටම සුව කිරීම හුදෙක් හිතළුවක් පමණකි.
දිනක් ලීක් ක්වාන් යූ හිටපු සිංගප්පුරෑ නායකයා තම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙකු මුණගැසීමට හදිසියේම පැමිණියේය. ඒ වන විට තම කැබිනට් මණ්ඩලයේ මේ ඇමැතිවරයා අයථා මූල්‍ය ගනු දෙනුවකට චෝදනා ලැබ සිටියේය. සොඳුරැ අඥාදායක ලීක් ක්වාන් මේ ඇමැතිවරයා සමඟ රහසිගත සාකච්ඡාවක නිරත විය. එම සාකච්ඡාවේදී ප්‍රධාන ලෙසම විසඳුම් දෙකක් ලීක් ක්වාන් යූ විසින් ඉදිරිපත් කරන ලදී. ඉන් පළමු වැන්න ලෙස ඔහු පවසා ඇත්තේ උදාවන දිනයේ උදෑසන අට පසුවීමට පෙර සිංගප්පූරැ පොලීසිය විසින් ඇමතිවරයා අත් අඩංගුවට ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය. දෙවැනි විසඳුම ලෙස ලීක් ක්වාන් යූ සඳහන් කළේ සියදිවි නසා ගන්නා ලෙසය. චෝදනාවට ලක්වූ ඇමැතිවරයා තම නායකයා ලබාදුන් දෙවැනි විසඳුම තෝරාගත් බව සිංගප්පූරැ මාධ්‍ය වාර්තා කරනු ලැබීය.
එවන් රටක උදාහරණයන් ශ්‍රී ලංකාවට එක් කරගනිමින් සීනි බෝල හීනයක මිනිසුන් අතරමං කිරීමේ හීනයක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ දී පටන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විසින් සිදුකරනු ලැබූවකි. 1977 දී බලයට පත් වී වසර 17 ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට කළ නොහැකි වූ දෙය ආශ්චර්යයෙන් පසුව එක් වරම සිදුකිරීමට යාම තරම් විහිළුවක් රොවෑන් ඇට්කිට්සන් ට වත් කළ නොහැකි බව කැට තබා පැවසිය හැකිය. ජේ.ආර්. රජය ස්ථාවර වූ කාලයේ ශ්‍රී ලංකාවේ සමීප හිතවතකු ලෙස සිංගප්පූරැ ජනාධිපති ලී ක්වාන් යූ දැක්විය හැකිය.
එකල ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට ඉතා ඉක්මණින් ගුවන් සේවයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පැන නැගිණි. මේ අදහස ජේ.ආර්. ජනාධිපතිවරයා ලීක් ක්වාන් යූට පැවසූ කළ ඔහු පැවැසූවේ ගුවන් සේවයක් ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.ඒ නිසාම ශ්‍රී ලංකාව පළමු කොට සිදුකළ යුත්තේ ආසියාවේ නවීනතම ගුවන් තොටුමපොළක් රට තුළ ඇති කිරීම හා එමගින් ලැබෙන අති විශාල වූ ආදායමෙන් තමාගේම ගුවන් සේවයක් ආරම්භ කිරීම නුවණට හුරැ බවය. යූ ගේ අදහස පයිසයකට මායිම් නොකළ ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීලංකන් ගුවන් සමාගම ආරම්භ කළේය. එදා සිට අද දක්වාම ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු පිට පාඩු ලබන ආදායමට වඩා වියදමක් උත්පාදනය කරන හා වෙනස් වන දේශපාලනයේ සොඳුරැ කටගැස්ම බවට පත් වී ඇත. එවන් පසුබිමක අපි සිංගප්පූරැ හීනයක් තුළට ආශක්ත කිරීමට උත්සහ කරමින් සිටීම උත්ප්රාසය ජනිත කරවීමකි.
සිංගප්පූරැ හීනයෙන් මිදීමට අප දේශපාලනඥයෝ කිසි දිනක උත්සහ නොකරති. ඒ අතර ලංකාවේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ වැටුප සිංගප්පූරැ මහජන නියෝජිතයන්ගේ වැටුප හා සමාන විය යුතු මට්ටමට ගෙන ආ යුතු බව පසුගියදා ප්‍රකාශ විය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ලක්ෂ එක හමාරක් හෝ දෙකකට ආසන්න වැටුපක් ලබමින් ඉතා අපහසුවෙන් ජීවත්වන බව පවසා තිබිණි. ඒ සඳහා කදිම විසඳුමක් ලෙස ඔහු පවසන්නේ නිෂ්පාදන ආර්ථිකයක් නොමැති සෘජු හා වක්‍ර බදු ගසා පවසන්නේ බදු මුදලින් ජනතා සේවකයන්ගේ ලක්ෂ එක හමාරේ පඩිය තිස්පන්දහසේ රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් සූරාගෙන වැඩි කළ යුතු බවයි. එවිට මන්ත්‍රී වැටුපෙන් ඔවුන් සිංගප්පූරැව හා සමාන වනු ඇත. එහෙත් රජයට අමතක වී ඇති ප්‍රධානම කරැණ වන්නේ සිංගප්පූරැ අමාත්‍ය මණ්ඩලයේ සිටින ඇමතිවරැන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීමය. ආචාර්ය උපාධි, මහාචාර්යවරැ, උපාධිධාරීන් බහුතරයක් සිංගප්පූරැ පාර්ලිමේන්තුව නියෝජනය කරන විට ලංකා පාර්ලිමේන්තුවේ 96 දෙනකු සාමාන්‍ය පෙළ විභාගය අසමත්ය. එවන් පසුබිමක් ඇති ලංකා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ වැටුප වැඩි කළ යුතුය. මන්ද අපි සිංගප්පූරැවට සමීප විම අත්‍යවශ්‍ය වන්නා වූ කාරණයකි.
දිගින් දිගටම මිනිසුන්ගේ සාරය හූරමින් ලුම්පන් ධනපතියන් ආරක්ශා කිරීමේ සැහැසි ක්‍රියාමාර්ගයක එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකරාශී වී ක්‍රියාත්මක වෙමින් සිටී. අන්ත ලිබරල්වාදී න්‍යාය පත්‍රයක් අනූව ධනපතියන් හා තම පැලැන්තිය ආරක්ෂා කරගැනීමේ දැඩි උත්සහයක ආණ්ඩුව ක්‍රියාත්මක වන අවධියක මිනිසුන්ගේ ඔළුගෙඩි හරහා පොලිස් බැටන් පොළු පතිත කරමින් හිතුවක්කාර ගමනක ආණ්ඩුව ගමන් කරන බව සක් සුදක් සේ පැහැදිලිය. එහෙත් බලයෙන් මත් වී සිටින ඔවුන්ට අමතකව ගිය කරැණක් ඇත. එනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූයේ සාමාන්‍ය මහජනයාගේ අසීමාන්තික ප්‍රසාදය ඔහුට ඇති නිසා නොව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කෙරෙහි ජනයාගේ පැවති බලවත් අප්‍රසාදය වීම බවය. එය පැහැදිලි වනු ලබන්නේ පසුව පවත්වනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණයේ දී කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලබා නොදීමෙන්ය. ඒ අනූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්වී නිර්මාණය කර ඇති කෘත්‍රීම බහුතරය තුළ ඔහුන්ගේ අත්තෝනෝමතික ගමනේ අවසානය ඉතා සමීපයටම පැමිණ ඇති බව පැහැදිලිය. කිසි දිනක කිරැළ අත් නොහැරීමට පැමිණි, දහ අටවැනි සංශෝධනය පවා සිදුකර සක්විති රජවරැන්, යුව රජවරැන් හා කුමාරවරැන්ද දණ ගැස් වූ ලාංකිකයන් කෘත්‍රීම බහුතරයකින් පන්දු කෙළින රදළයන් ගෙදර යැවීමට දෙපාරක් නොසිතන බව එළැඹෙන මැතිවරණයක දී අවබෝධ කරගත හැකි වනු ඇත. එමෙන්ම සයිටම් උපාධි කඩය වෙනුවෙන් සුදුසුකම් නැත්තවුන් වෙනුවෙන් සුදුසුකම් ඇත්තන්ගේ ඔළුගෙඩි පැලීමේ සැහැසි ආමන්ත්‍රණය සිංගප්පූරැ සිහිනය මියැදීමේ කූටප්‍රාප්තිය වනු ඇත. එය රාජපක්ෂ සමයේ එච්.එන්.ඩී.ඒ. සිසුන්ගේ ඔළු පැළීම තුළින් වැඩ අල්ලා කිරැළ හැර දමා යාම දක්වා දිවෙන දෛවෝපගත සිදුවීමක් වනු ඇත.
සංඛ රඹුක්වැල්ල
වැල්ලවාය